1962 වසරේදි ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ උඩුකය රූපයක් ඇතුළත් කරමින් රුපියල් 2, 5, 10, 50 හා 100 යන වටිනාකමින් යුත් මුදල් නෝට්ටු පහක්, හතරවන නෝට්ටු කාණ්ඩය ලෙස නිකුත් කර ඇත. 1956 වසරේදි නිකුත් කළ රාජ්‍ය ලාංඡනය සහිත නෝට්ටු කාණ්ඩයෙහි රාජ්‍ය ලාංඡනය ඉවත් කොට එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ උඩුකය ඡායාරූපය නෝට්ටුවේ දකුණු පසට වන සේ යොදා මෙම නෝට්ටු කාණ්ඩය නිකුත් කර ඇත. 1956 වසර වන තෙක් නිකුත් කරනු ලැබූ රුපියලේ මුදල් නෝට්ටුව මෙම නෝට්ටු කාණ්ඩය තුළින් ඉවත් කර තිබේ.







1960 වසරේ පැවති මැතිවරණයෙන් පසු රාජ්‍ය බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කළ රාජ්‍යය ප‍්‍රතිපත්තිවලට අනුකූලව ලංකාවේ හිටපු අගමැතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ උඩුකය ඡායාරූපය යොදා ගනිමින් 1962 වසරේදී මෙම මුදල් නෝට්ටු කාණ්ඩය මුද්‍රණය කිරීමට පියවර ගෙන ඇත. මෙහිදී 1956 වරේදී නිකුත් කරනු ලැබූ ශී‍්‍ර ලංකා රාජ්‍ය ලාංඡනය සහිත නෝට්ටු කාණ්ඩයේ රාජ්‍යය ලාංඡනය ඉවත් කොට නොට්ටුවේ දකුණු පසට වන සේ ස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතාගේ උඩුකය ඡායාරූපය යොදා ගෙන තිබේ. 1959 සැප්තැම්බර් ඝාතනයට ලක් වූ එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක අගමැතිතුමාගේ රුව රැගත් මෙම නෝට්ටු කාණ්ඩය ශී‍්‍ර ලංකාවේ අගමැතිවරයෙකුගේ රුව රැගත් ප‍්‍රථම මුදල් නෝට්ටු කාණ්ඩය ලෙසින් හඳුන්වා දිය හැකිය.

1970 වසරේදී ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ අතක් ඔසවා ආචාර කරනු ලබන ඉරියව්වෙන් සිටින උඩුකය ඡායාරූපයක් යොදා ගනිමින් රුපියල් 50 හා 100 වටිනාකමින් යුත් මුදල් නෝට්ටු දෙකක් නිකුත් කර ඇත. මෙම වසරේදී නිකුත් කරනු ලැබූ මෙම මුදල් නෝට්ටු දෙක ශී‍්‍ර ලංකා මහ බැංකුව විසින් 1962 දී නිකුත් කරනු ලැබූ එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතාගේ රුව සහිත මුදල් නෝට්ටු කාණ්ඩයටම ඇතුළත් කර ඇත.



1970 වසරේදී ආදායම් බදු ගෙවීමට සිදුවීම හේතුවෙන් ව්‍යාපාරිකයින් සිය ව්‍යාපාර ස්ථානයන්හි සේප්පු භාවිත කරමින් සිය ව්‍යාපාර පවත්වාගෙන යන ලදි. මෙම හේතුන් මත ආදායම් බදු ගෙවීම හා සම්බන්ධ ගැටලූ මතුවී ඇත. මේ සඳහා පිළියමක් ලෙස 1970 ඔක්තෝම්බර් මස 26 දිනට පෙර නිකුත් කර තිබූ රුපියල් 50 හා 100 වටිනාකමින් යුත් මුදල් නෝට්ටු අවලංගු කරන ලදී. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස 1970 මහ මැතිවරණයෙන් රාජ්‍යය බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමඟි පෙරමුණ ආණ්ඩුව විසින් එස්.ඩබ්.ආර්.ඞී.බණ්ඩාරනායක මහතා අතක් ඔසවා ආචාර කරනු ලබන ඉරියව්වෙන් සිටින උඩුකය ඡායාරූපයක් ඇතුළත් කරමින් රුපියල් 50 හා 100 වටිනාකමින් යුත් මෙම නෝට්ටු දෙක නිකුත් කර ඇත. මෙම නව මුදල් නෝට්ටු බැංකු වලින් මාරු කර ලබා ගැනීමට කෙටි දින කිහිපයක් ලබා දී තිබේ. සඟවා සිටි මුදල් එළියට ගැනීමේ උපක‍්‍රමයක් ලෙස මෙය සිදු කර ඇති අතර මෙලෙස මාරු කර ගැනීමට නොහැකි වූ රුපියල් 50 හා 100 මුදල් නෝට්ටු අවලංගු නෝට්ටු ලෙස පසුව හඳුන්වා දෙන ලදි.



Comments (0)