මුලින්ම හැමෝටම ආයුබෝවන් කියනව. අද තමයි මගෙ blog එක පටන් ගත්ත දවස. ඉස්සර වෙලාම කියන්න ඕන වැඩි දැනුමක් ඇතුව නෙමෙයි blog එක ලියන්න ගත්තෙ. blog එකේ ආරම්භක ලිපි පෙළක් විදියට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු වල සවිස්තරාත්මක විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙනව. මං මුලින්ම කිව්වනෙ, වැඩි දැනුමක් ඇතුව නෙමේ blog එක කරන්න පටන් ගත්තෙ කියල, ඒ නිසා මගෙ blog එකට යන එන ඔයාලගෙ comments මට ගොඩක් වැදගත් වෙනව.
        මගෙ බ්ලොග් එකට ආරම්භයක් විදියට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටු ගැන ලියන්න හිතුනෙ මේ සම්බන්ධයෙන් විස්තර එක තැනකට ගොනු කරපු පොතක්වත්, blog එකක්වත්, web site එකක්වත් හොයාගන්න නැති නිසා.
        මුලින්ම මම ශ්‍රී ලංකාවේ මුලින්ම නිකුත් කරනු ලැබූ මුදල් නෝට්ටුව ගැන කතා කරන්නම්


ලක්දිව මුල්ම මුදල් නෝට්ටුව නිකුත් කිරීම

ලංකාවේ ප‍්‍රථම වරට මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම හඳුන්වා දෙන ලද්දේ  ඕලන්දකාරයන් විසිනි. ඒ අනුව මුදල් නෝට්ටු නිකුත් කිරීම ක‍්‍රි.ව. 1785 දී ආරම්භ කරන ලදී.



ඇමෙරිකන් යුද්ධය හේතුකොට ගනිමින් ක‍්‍රි.ව. 1780 සිට මෙරට සතුරන්ගෙන් ආරක්‍ෂා කිරීම සඳහා යුද හමුදාවක් යොදවන ලදී. මොවුන් නඩත්තු කිරිම සඳහා විශාල මුදලක් වියදම් වූයෙන් 1785 දී මෙරට ආදායම අඩුවිය. මෙනිසා භාණ්ඩාගාරය සම්පූර්ණයෙන් හිස් විය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙසින්  ඕලන්ද ආණ්ඩුකාරධූරය දැරූ වැන් ද ග‍්‍රාප් (ක‍්‍රි.ව. 1785 - 1794) විසින් පළමු වරට මුදල් නෝට්ටු භාවිත කිරීම ආරම්භ කරන ලදී.

එකල  ඕලන්දකාරයින් විසින් කොළඹ කොටුවේ ඔවුන්ගේ ඇතැම් කාර්යාලවල ආරක්‍ෂිත ලෙස තැන්පත් කළ මුදල්වලට සහතික කළ කුවිතාන්සි දිමේ සිරිතක් පැවති හෙයින් අලූත් මුදල් නෝට්ටු ප‍්‍රචාරය කරවීම අපහසු නොවීය. පතාග 25,000 ක් වටිනා මුදල් නෝට්ටු පළමු වරට අච්චු ගැසීමට ක‍්‍රි.ව. 1785 මාර්තු 19 දින සම්මත වී තිබේ. ඒ අනුව ක‍්‍රි.ව 1785 මැයි 10 වන දින පළමු මුදල් නෝට්ටු නිකුත් කරන ලදී. මුල් අවධියේදී පතාග 50, 100, 500 සහ 1000 මුදල් නෝට්ටු නිකුත් කර ඇති අතර, පසුව පතාග 1, 2, 3, 4, 5, 10 මුදල් නෝට්ටු නිකුත් කර තිබේ. එම පතාග මුදල් නෝට්ටු තුළ සිංහල, දෙමළ සහ  ඕලන්ද යන භාෂා ත‍්‍රිත්වයෙන් ”පතාග එකකට හොඳයි” යනුවෙන් සඳහන් කර ඇත. යට පැත්තෙහි මුදල් නෝට්ටුවේ අංකය, නිකුත් කළ දිනය සහ එම මුදලට අවුරුද්දට 3% බැගින් පොලිය ලැබෙන බව සඳහන් කර තිබේ. මෙම ක‍්‍රමය උපයෝගී කොට ගනිමින් අන් සියලූම මුදල් නෝට්ටුවල මිල ගණන් දක්වා ඇත.

මෙම මුදල් නෝට්ටු ආණ්ඩුවේ නිළධාරීන් තිදෙනෙකුගේ අත්සන් වලින් යුක්ත වී තිබේ. මෙම නෝට්ටුව ”ක්‍රෙඩිට් බී‍්‍රවන්” (Credit Breiven) ලෙස හඳුන්වයි. මඩකලපුවේ ගනුදෙනු සඳහා ක‍්‍රි.ව. 1789 දී හා ක‍්‍රි.ව. 1790 දී ද, ත‍්‍රිකුණාමලයේ ගනුදෙනු සඳහා ක‍්‍රි.ව. 1788 දී මෙම මුදල් නෝට්ටු අච්චු ගසන ලදී.

වර්තමාන මුදල් නෝට්ටු තුළ දක්නට ලැබෙන ආරක්‍ෂණ සලකුණු යොදා එකල මුදල් නෝට්ටු මුද්‍රණය නොකළ හෙයින් ව්‍යාජ නෝට්ටු මුද්‍රණ ව්‍යාපාරය අධික විය. මෙනිසා ආණ්ඩුව විසින් ක‍්‍රි.ව. 1793 මාර්තු 28 වන දින නව නියෝග පනවා තිබේ. එහිදී පැරණි මුදල් නෝට්ටු ආපසු ගෙන්වා ඒ සඳහා අලූත් මුදල් නෝට්ටු නිකුත් කර ඇත.

ක‍්‍රි.ව. 1794 දී නිකුත් කරනු ලැබූ  ඕලන්ද මුදල් නෝට්ටු තුළ පිළිවෙළින්  ඕලන්ද, සිංහල සහ දෙමළ යන භාෂා ත‍්‍රිත්වයෙන් දිග සටහනක් සඳහන් වේ. ඒවා ද අවුරුද්දට සියයට තුන බැගින් පොලියත් සමඟ මුදල් ගෙවීමේ පොරොන්දුව පිට නිකුත් කර තිබේ. එහි සඳහන් සිංහල වාක්‍යාංශය මෙසේය.

”.............. ඉලක්කම, පතාග............... හොඳයි. මේක පෙන්නන අයගේ ඉන්දියාවේ මුදල් වූ පතාගයට ඉස්ත‍්‍රිබි හතලිස් අට ගණනේ පතාග ...................... ක් කොම්පඤ්ඤේ වෙත තිබෙන බව මෙහි පහළ අත්සන් කළ අපි එළි දරවු කරනවා යැ, එවැනි ගණනකට මේ විශ්වාස කෙරීමේ ලිවුම මේ දිවයිනේ සෑම තැනට වලංගු වෙන්ඩයෙදේයැ’’.




Comments (2)

On February 23, 2013 at 1:46 AM , Thilina said...

හොද ආරම්භයක් නංගි, ගොඩක් වැදගත් ලිපි පෙළක් වෙයි කියල හිතනව. Go ahead, I wish you all the best!!!

 
On November 2, 2015 at 12:41 AM , the author said...

pls continue to post